(ධර්ම දානය පිණිස share කරන්න) 


සාලිය කුමරු ගේ ආදරවන්තිය අශෝකමාලා සැඩොල් කුලයක ඉපදුනේ ඇයි?


දුටුගැමුණු රජු ගේ පුත් සාලිය කුමරු නිතර ම දානමය පුණ්‍ය කර්ම කිරීමට සිත නැමුනු කෙනෙකි. නමුදු විවාහ කර ගත්තේ අතිශයින් ම ප්‍රියකරු රූසපුවකින් යුත් සූසැටක් ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් හෙබි අශෝකමාලා නම් සැඩොල් කුමරියක් වේ. සාලිය කුමරු ඇයට බැඳි පෙම නිසා රජ සැප ද අත හැරියේ ය. මතු මෛත්‍රී බුදු සසුනේ මෛත්‍රී බුදු රජුන්ගේ බ්‍රහ්මවර්ධන නම් එකම පුත්‍රයා වී ඉපදෙන්නේ ද මේ සාලිය කුමරු ය. මෙතුමාගේ බිරිඳ සැඩොල් කුලයක ඉපදීමට හේතුව නම් ඇය පෙර මේ ලක්දිව සුමනා නමින් ඉපිද තරුණියකව සිටිය දී, දිනක් ඉඳුල් ඉහිරවා ආහාර ගෙන ඇති බව දුටු ඇගේ මව්තුමිය ඇයට “සැඩොල් කෙල්ල තෝ කුමක් නිසා මේ අපිරිසිදු කරන්නේ දැ යි” දොස් නැගූ විට එහිදී සුමනාවෝ මව කෙරෙහි කිපී “චණ්ඩාල කෙල්ල නම් මා නොව මෑණියන් ම යැ යි” කී බැවිනි. මෙහි විපාක වශයෙන් ඇය මේ ජීවිතයේදී සැඩොල් කුලයක ඉපදුන බව ධර්මයේ දක්වා ඇත.

(සද්ධර්මාලංකාරය 549 පිට)


දාසක හිමි දාසියක ගේ කුස ඉපදීමට හේතුව


මේ ස්වාමීන් වහන්සේ අනේපිඬු සිටුතුමා ගේ ගෙදර බැලමෙහෙවර කරන දාසියකගේ කුස ඉපදීමට හේතුව විය. පෙර මෙතුමා කාශ්‍යප බුදු සසුනේ එක් මහ රහතන් වහන්සේ නමකට උපස්ථාන කළ අතර දිනක් යම්කිසි සුළු වැඩක් තෙරුන් ලවා කෙරෙව්වේ ය. (ස්වාමිනි, ඔතන තියන පොත අරන් දෙන්න කියා කියන්න වගේ) ඒ කරගත් අකුසල කර්ම බලයෙන් අප බුදු සසුන කාලයේ දාසියක කුස උපන් බව දක්වා ඇත. එබැවින් පැවිද්දන් භජනය කිරීම බොහොම ප්‍රවේශමින් කළ යුතු වැඩක් බව දත යුතු ය.

(පරමත්ථ දීපනී නම් ථේර ගාථාට්ඨ කථා 69 පිට)


සාතාගිර හේමවත නැමති යක්ෂයන් වූ ත්‍රිපිටකධාරී භික්ෂූන් දෙනම


කාශ්‍යප බුදු සසුනේ බොහෝ ම මිත්‍ර කුල පුත්‍රයන් දෙදෙනෙකු පැවිදි විය. දෙදෙනාම තරුණ කාලයෙහි ම පැවිදි වූ බැවින් ග්‍රන්ථධූරය හැදෑරී ය. ප්‍රකෘතියෙන්ම ප්‍රඥාවන්ත වූ මේ දෙනම නොබෝ කලකින්ම ත්‍රිපිටකධාරී ව්‍යක්ත බහුශ්‍රැත භික්ෂූන් දෙනමක් විය. එසේම විනය විනිශ්චයේ ද අති දක්ෂ වූහ. එක එක නමට පන්සිය ගණනේ දහසක් පිරිවර භික්ෂූන් ද වූහ. එනමුදු අවාසනාවක මහිමය නම් අධර්මවාදී දුස්සීල භික්ෂූන් ගේ ලාභ සත්කාර හමුවේ හිස නමන්නට විය.

දිනක් සසුනෙන් ඉවත් වීමට සුදුසු දුස්සීල භික්ෂුවකට චෝදනාවක් එල්ල වී එය විනිශ්චය කිරීමේ දී ලාභ සත්කාර වලට ගිජු වී ධර්ම විනය ශාස්තෘ ශාසනය වසා, බුදු සසුන නො රැක පුද්ගලයින් රකිමින්, අගතිගාමීව විනය විරෝධීව ඒ ප්‍රශ්නය විනිශ්චය කළහ. ඒ හේතුවෙන් දුශ්ශීල භික්ෂූව ආරක්ෂා විය. සිල්වත් භික්ෂුව හඬමින් පරාදීනව යන්නට විය. එදා ඒ ලාභ සත්කාරයන්ට ගිජුවී මේ කළ අධර්ම ක්‍රියාව නිසා ඒ මහ තෙරුන් දෙනම ඇතුළු ඊට පක්ෂ වූ පිරිවර දාහක් දෙනා යක්ෂයින් වූහ. වැඩිහිටි භික්ෂුව හේමවත නම් යක්ෂයා වී ද අනික් මහතෙරුන් සාතාගිර නම් යක්ෂයා ද විය. මේ අයට පෙර පැවිදිව සිටිය දී උවටැන් කළ දායක පින්වතුන් දෙව්ලොව ඉපදුණ අතර මේ යක්ෂයන් එම කරුණ දැක මහත් ලැජ්ජාවට පත්විය.

මේ මහ පොළොව එක යොදුනකුත් ගව් තුනක් වැඩෙන තුරුත් අප බුදු සසුන දක්වා ද ඒ යක්ෂ ආත්මයෙන් තවමත් අත් මිදෙන්න නො හැකි විය. දිනක් තථාගත ධර්මය ශ්‍රවණය කොට පෙර පිරූ පාරමී ඇති බැවින් මේ නායක යක්ෂයන් ප්‍රධාන පිරිවර දහස සෝවාන් බවට පත් විය. නමුත් අදටත් යක්ෂ යෝනියෙහි ම ය. එබැවින් බුද්ධිමත් සත්පුරුෂයෝ විනය විනිශ්චයකදී පුද්ගලයින් නො රැක සම්බුදු සසුන ම රකිත්වා.

(පරමත්ථ ජෝතිකා නාම සුත්ත නිපාතට්ඨ කථා-

හේමවත සුත්ත වණ්නණා 148 පිට)


සමිති ගුත්ත හිමි ගේ ශරීරය කුණු වී වැගිරෙන්නට හේතුව


මේ ස්වාමීන් වහන්සේ පෙර පසේබුදු කෙනෙකුට “මේ මුඩු ශ්‍රමණයා ඇඟ කුණු වී ඇති බැවින් ඇඟ වසා පොරවා යන්නෙ යැ යි” කියා දෝෂාරෝපණය කිරීම හේතුවෙන් බොහෝ කල් නිරයෙහි පැසී කාශ්‍යප බුද්ධ කාලයේ දී පිරිවැජියෙක් වී සිටිය දී සිල්වත් උපාසක මහතෙකුට “නුඹ කුෂ්ඨ රෝගියෙකු වන්නෙ හි ය” කියා ආක්‍රෝෂ කළේ ය. නාන තොටුපලෙ හි තබන ලද සුනු සබන් ආදිය ද විනාශ කර දමන ලදී. එහි විපාක ලෙස නිරයෙහි පැසී දුක් විඳ මනුලොව ඉපිද බුදු සසුනේ පැවිදි වී සිටිය දී මහා කුෂ්ඨ රෝගයක් වැළඳී ඇඟ කුණු වී දියවෙමින් වැගිරෙන්නට ගත්හ.

ගිලන් භික්ෂූන්ගේ සුවදුක් බැලීමට ගිය සැරියුත් මහරහතන් වහන්සේ මේ භික්ෂුව දැක “යාවතා ඛන්ධප්පවත්ති නාම සබ්බං දුක්ඛ මේව වේදනා දික්ඛන්ධේසු පන අසන්තේසු යේව නත්ථි දුක්ඛං” ඇවැත්නි යම්තාක් ස්කන්ධයන් ගේ පැවැත්ම වේ ද, ඒ තාක් මේ ස්කන්ධයෝ සියල්ලම දුක් ම ය, යම් විටක වේදනාදී ස්කන්ධයන් හි නො පැවැත්ම වූයේ ද එහි දුක ද නැත්තේ යැ යි වේදනා විදර්ශනා කමටහන වදාරා වැඩි අතර උන්වහන්සේ ඒ කමටහන වඩා රහත් විය.

(ථේරගාථට්ඨ කථා 175 පිට)


ආනන්ද ස්වාමීන් වහන්සේ පෙර ජාතියකදී කාන්තාවක් වී ඉපදීමට හේතුව


අප බුදු සසුනෙහි සතිමන්ත, ගතිමන්ත, ධිතිමන්ත, බහුශ්‍රැත, අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ ද පෙර එක් ජීවිතයක ධනවත් රන්කරුවෙක් ව සිටිය දී පරදාර සේවනයේ යෙදී බොහෝ දුක් විපාක වින්දේ ය. එදා රන්කරු කාලයේ කළා වූ පාප කර්මය අළුයට ගිනි මෙන් අවකාශයක් නො ලබා කුසල කර්මයක විපාක වශයෙන් සිටු පුත්‍රයෙක් ව උපන්නේ ය. එහිදී කල්‍යාණ මිත්‍ර ඇසුර ඇතිව බොහෝ කුසල කර්ම කළේ ය.

නමුදු පෙර රන්කරු කාලයේ කළා වූ පරදාර කර්මය අළුයට ගිනි මෙන් මතුවී එයින් චුතව රෞරව මහා නරකයේ බොහෝ කාලයක් පැසුණේ ය. බොහෝ දුක් විඳ එයින් චුතව පරදාර කර්මයේ විපාක වශයෙන් මහත් බල සම්පන්න (ගැල්වල) යානාවල යොදන්නා වූ උදුරන ලද බීජ ඇති එළුවෙක් වී උපන්නේ ය. එයින් ද මැරී ගොස් වනයේ වඳුරු යෝනියෙ හි ඉපිද උදුරන ලද ඵල ඇත්තේ දුක් වින්දේ ය. ඉන් මැරී ගොස් දසන්ත රට මහත් බලවත් වූ ගොනෙක් වී බීජෝද්ධාරණය කොට (දෙනුන් ගැබ් ගැන්වීමේ ශක්තිය නැතිකොට) ගැල් අදිමින් පරදාර කර්මයේ විපාක විඳ එම පරදාර කර්මය හේතුවෙන් නැවතත් ඉන් චුතව වැදෑ රට ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද නොවූ නපුංසකයෙක්ව උපන්නේ ය. පසුව මැරී ගොස් තව්තිසා දෙව්ලොව දෙවඟනක් වී උපන්නා ය.

මෙසේ නැවත තුන් වතාවක් ම සක් දෙවිඳුගේ පාද චාරිකාවක් වී ද නැවත දෙවරක් ම ජවන නම් දෙව් පුතුට අග මෙහෙසිය වී ද ඉන් චුත වී අංගාති රජු ගේ අග මෙහෙසිය ගේ කුස පිළිසිඳගෙන රූජා නම් රාජ කන්‍යාවක් වී ඒ ආත්මයෙන් අත මිදී තව්තිසා දෙව්ලොව මහත් ආනුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයෙක්ව උපන්නේ ය. මෙසේ පාරමී පුරන්නා වූ මහත් පුණ්‍යවන්තයන්ට පවා සසර පරදාර සේවනය හේතුවෙන් මහත් දුක් විපාක විඳින්නට සිදු විය. එබැවින් සසර සැප කැමති සත් පුරුෂයින් විසින් පර පුරුෂ, පර ස්ත්‍රී සේවනයෙන් තම ජීවිත ආරක්ෂා කර ගනිත්වා.

(නාරද කාශ්‍යප ජාතකය)


සත්ව ඝාතනයේ ආදීනව


එක් කාලයක දිසාපාමොක් ඇඳුරුතුමෙක් මතක බතක් දෙන්නෙමි යැ යි එළුවෙකු මැරීමට සුදානම් වී, අත වැසියා හට එළුවා නහවා බෙල්ලට මාලයක් පළඳවා ශරීරය අලංකාර කොට ගෙන එන ලෙස දැන්වී ය. එළුවා නහවා තැබූ විට එළුවාට පෙර ඉපිද සිටි ආකාරය බැලිය හැකි ජාතිස්මරණ ඥාණයක් පහළ විය. පසුව එළුවා එකවර ම සිනාසී නැවත ඇඬු හ. මෙය දුටු ශිෂ්‍යයාට එළුවා හා කථා කිරීමට දත් බැවින් ඔහු මෙය එළුවාගෙන් ඇසූ කල ආචාරීන් වහන්සේ ඉදිරිපිට සියල්ල පැවසී ය.

තමා පෙර මෙසේ ම දිශාවන්ට ප්‍රධාන ගුරු උතුමෙක්ව සිටිය දී මතක බතක් දීමට එක් එළුවෙකු මරා එකක් අඩු පන්සිය වතාවක් ආත්ම වල දී හිස සිඳලීමට ලක් වූ බව ද, මෙය අවසන් වාරය බව දැක සිනාසුන බව ද පැවසූ හ. අඬන්න හේතුව නම් දැන් තමා මැරීම නිසා මෙතෙක් දිගු කලක් තමාට දුක් විඳීමට සිදු වූ ලෙස බමුණාට ද සිදුවන බව කල්පනාවට ආ හේතූවෙනි. පසුව ඇඳුරුතුමා එළුවා නො මැරුවේ නමුදු හෙණ පහරක් ගල් තලාවකට වැදී ගල් පතුරක් ගැල වී විත් එළුවා ගේ බෙල්ලේ වැදී හිස වෙන්ව එළුවා මැරුණු බව දැක්වේ. එබැවින් සත්ව ඝාතනයෙන් වැළකෙත්වා.

(ජාතක අට්ඨකාථාවේ මතක ගත්ත ජාතකය 149 පිට)


බීජක නම් දාසයා ගේ පූර්ව කර්මය


ජාතක අට්ඨකථාවේ නාරද කාශ්‍යප ජාතකයේ එන අංගාති නම් රජුගේ රූජා නම් දියණියට අතීත ජාති හතක් ද අනාගතය පිළිබඳ ජාති හතක් ද දැකිය හැකි වේ. මේ රූජා නම් රජ දුව වී ඉපිද සිටියේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන එන ආනන්ද හිමි වේ. මෙතුමියගේ ඒ අතීත භවය පිළිබඳව බැලිය හැකි ඥාණයෙන් මෙම බීජක නම් දාසයා දාසයෙකු වීමට හේතුව පූර්වයේ කළ පාපකර්මය බව දැක බලා කීවා ය. මේ දාසයා පෙර ජීවිතයකදී භික්ෂූන් වහන්සේ නමකට ආක්‍රෝශ පරිභව කළ පවින් බව දැක බලා කියන ලදි. එදා ඒ බීජක නම් දාසයා වී ඉපිද සිටියේ මුගලන් මහ රහතන් වහසේ බව දත යුතු ය.


සාම කුමරුගේ මව්පිය දෙපල ගේ ඇස් අන්ධ වීමට හේතුව


දූකුල කුමාරයෝ හා පාරිකා කුමාරිය පෙර වෛද්‍ය වෘත්තියෙ හි නිරත වී සිටිය දී දෑස් නො පෙනෙන මිනිසකු ගේ ඇස් බෙහෙත්කොට සුව කළහ. පසුව ඇස් සුව කළ ද ගිවිස ගත් මුදල් නො දුන් බැවින් මෙය වෛද්‍යතුමා අඹුවට කී විට, කුලී නො දෙන්නේ නම් ඇස් අන්ධ කරව යැ යි ඈ පැවසීය. අඹුවගේ බස පිළිගෙන ඇස් අන්ධවන සේ බෙහෙත් ගල්වා පෙනුන දෑස් නැවත අන්ධ කළේ ය. ඒ අකුසල බලයෙන් මෙහිදී දෙදෙනාගේ ම දෑස් අන්ධ වූහ. කාශ්‍යප හිමි හා භද්‍රකාපිලානි යන මේ දෙදෙනා පෙර මේ සාම කුමරුගේ මා පියන් වී දෑස් අන්ධ වූ බව දත යුතු ය.

(සාම ජාතකය)


මහා පිනැති පුණ්ණා කුමරිය දාසියක වීමට හේතුව


මෙතුමිය සැවැත් නුවර වතුර අදින දාසි ගෙදරක ඉපදුණ අතර පුණ්ණා යන නම ඇයට හිමි වූවා ය. පෙර ඕ තොමෝ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන සෑම බුදු සසුනක ම පැවිදිව සිල්වත්, ගුණවත්, බහුශ්‍රැත, ප්‍රියශීලි, ධර්ම කථික මෙහෙණක් ලෙස වාසය කළා ය. බොහෝ ධර්ම කථික බැවින් ජනයා අතර ප්‍රසිද්ධ වූවා ය. තම බහුශ්‍රැතභාවය හේතුවෙන් එක ප්‍රියශීලි මෙහෙණක් පහත්කොට සිතූ පවින් ආත්ම ගණනක් දාසියක් වී උපන්නා ය.

මේ දිවියේ ද එසේ කර්මය විපාක දුන් නමුදු පෙර මහණ දම් පිරූ පිනින් රහත් බවට පත් වූවා ය. මානය යනු පහත් ක්ලේශයකි. “මානෝ මක්කටෝ අති මානෝ කුක්කුරෝ” යැයි බුදු රජාණන් වහන්සේ වදාරා ඇති පරිදි මානය හේතුවෙන් වඳුරන් වේ. අධිකව උඩුඟු වීම, අහංකාර වීම හේතුවෙන් සුනඛයන්ව ඉපදේ, මනුලොව මිනිසකු වී ඉපදුන ද පහත් කුලයකම ඉපදේ.

(අපදාන පාලියේ පුණ්ණා ථේරි අපදානය)


විනයධරයන් අතර අගතැම්පත් උපාලි හිමියෝ කරණවෑමියෙක් වීමට හේතුව


මුන් වහන්සේ අනුරුද්ධ හිමි ආදී සය දෙනා හා එකට මහණ වූ අතර ගිහි කල ශාක්‍යයන් ගේ කෙස් රැවුල් බාන කරණවෑමියා විය. බුදු සසුනේ පැවිදිව විදසුන් වඩා රහත් වී විනයධරයන් අතර අගතැම්පත් විය. මෙවන් වාසනා ගුණ ඇති මුන් වහන්සේ මෙසේ පහත් කුලයක ඉපදුනේ, පෙර අඤ්ජද රජුගේ පුත් චන්දන කුමරු වී සිටිය දී, දිනක් සිරික නම් ඇතු පිටින් යද්දී දේවල නම් පසේබුදුන් තමා ඉදිරියේ නො නැවතී එනවා දැක, කිපී පසේ බුදුන්වහන්සේ හා ගැටීමට ඇතා මෙහෙයවන ලදි. නමුත් ඇතා නිශ්චලව සිටි බැවින් කිසිවෙකුටත් වරදක් නො වුවද හිතේ ඇති වූ පහත් කෝපය නිසා පසුව ශරීරය බොහෝ දැවිලි සහගත විය. පිය රජුට කියා පසේ බුදුන්ගෙන් සමාව ගත් නමුදු කළ කර්මයේ විපාකය නැවැත්විය නො හැකි බැවින් මෙසේ අනුන්ගේ කෙස් රැවුල් බාන කරණවෑමියෙක් ව ඉපදුන බව වදාරා ඇත.

(ථේර අපදානය)