බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීමෙන් අපිට ලැබෙන ලොකු ලාභයක් තමයි සුචරිතය දුෂ්චරිතය ගැන ඉගෙන ගන්ට ලැබීම. යමෙකුට සුචරිතය දුෂ්චරිතය ගැන ඉගෙන ගන්ට නොලැබුණොත් ලෝකයට හොඳ උපකාරයක් සහිත කෙනෙක් බවට පත්වෙන්ට බැරිව යනවා. මේ ලෝකයේ තියෙන ලොකු අර්බුදයක් තමයි, සුචරිතය මෙයයි, දුෂ්චරිතය මෙයයි කියලා අඳුරන්ට බැරිකම.


මනුෂ්‍යයා දුෂ්චරිතයේ යෙදීම ලෝකයට ලොකු අර්බුදයක්, සමාජයට ලොකු අර්බුදයක්. ඇතැම් අය කායික වශයෙන් වැරදි දේ කරනවා. වාචසික වශයෙන් වැරදි දේ කරනවා. මානසික වශයෙන් වැරදි දේ කරනවා. ඒ විදියට දුෂ්චරිතයේ යෙදීම සමාජයට බලවත් අර්බුදයක්. ඒක තමාටත් විපත පිණිස, අන් අයටත් විපත පිණිස පවතිනවා. සමාජයට විශාල පීඩාවක් වෙනවා. මනුස්සයාට විතරක් නෙවෙයි සතුන්ට පවා ඒක හානියක්. ගහ කොළට පවා ඒක හානියක්. පරිසරයට පවා ඒක හානියක්.


යමෙකු දුෂ්චරිතයේ නියැලීම නිසා වෙන හානිය එක මොහොතකට විතරක් නෙවෙයි, බොහෝ කලක් බලපානවා. එයින් සමාජයට විශාල හානියක් සිද්ධ වෙනවා. ඒ වගේ ම එක් අයෙක් දුෂ්චරිතයේ නියැලුණොත් අන් අයත් ඒකට පෙළඹෙනවා. විශාල හානියක් වෙනවා. ඒ නිසා දුෂ්චරිතයේ නියැලීම කියන දේ සමාජයට මහා විපතක්. හැම පැත්තෙන්ම භයානකයි.


බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා ධර්මය කියා දෙනකොට, ඒ ධර්මය අහලා ඉගෙන ගන්න කෙනාට ‘දුෂ්චරිතය මෙයයි, සුචරිතය මෙයයි’ කියලා ඉගෙන ගන්ට අවස්ථාවක් ලැබෙනවා. එපමණකින් ම ඔහු සමාජයට වැඩදායී කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ලෝකයට යහපත ඇති කරන ඒ උතුම් ධර්මය ඉගෙන ගන්ට ඕන. සුචරිතය දුෂ්චරිතය ගැන ඉගෙන ගන්ට ඕන. ඉගෙන ගෙන සුචරිතය කරන්ටත්, දුෂ්චරිතය බැහැර කරන්ටත් පුරුදු වෙන්ට ඕන. ඒ විදියට පුරුදු වෙන කෙනා, ශාසනයෙන් ලබන්ට තිබෙන අග‍්‍ර ඵලයන් ලබන්ට සුදුස්සෙක් බවට පත්වෙනවා.


*භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, ලෝකය පාලනය කරන කළු ධර්මතා දෙකක් තියෙනවා කියලා. ලෝකය පාලනය කරන, සමාජය පාලනය කරන, කළු ධර්මතා දෙකක්. ඒවා තමයි පවට ලැජ්ජා නැති කමත්, පවට භය නැති කමත්. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, ඒ පවට ලැජ්ජාව නැති කමත්, පවට භය නැති කමත් කියන කළු ධර්මතා යම් තැනක තියෙනවා නම් එතන සහෝදරයා, සහෝදරී, මේ මව, මේ පුංචිඅම්මා, මේ ගුරුවරයාගේ බිරිඳ, එහෙම කියලා පැණවීමක් නෑ. මේ ගරු කළයුතු කාන්තාව කියලා පැණවීමක් එතන නෑ. එතන සත්තු වගේ හැසිරීමක් තියෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. එතන ”කුකුල්ලු-කුකුල්ලු” වගේ, ”එළුවෝ-එළුවෝ” වගේ කියලා පෙන්වා දෙනවා.*


බලන්න එතකොට ඒ කළු ධර්මතා යම් තැනක තියෙනවා නම්, එතන හීන ස්වභාවයක් ඇති වෙන්නේ. සමාජයට මහා විනාශයක්, මහා විපතක් සිද්ධ වෙනවා.


අපි හොඳට ඉගෙන ගන්ට ඕන මේ ධර්මය. ඉගෙන ගෙන ඒ කළු ධර්මතා අපෙන් බැහැර කරගන්ට මහන්සි වෙන්ට ඕන. එක් මනුෂ්‍යයෙක් තුළ කළු ධර්මතා පිහිටලා තිබුණොත්, ඔහු නිසා සමාජයට බොහෝ කලක් හානි පැමිණෙන දේ සිදුවෙන්ට පුළුවන්. ඒ නිසා, ‘මගේ අතින් නම් මේ හානිය සිද්ධ වෙන්ට ඉඩ දෙන්ට හොඳ නෑ’ කියලා හැමෝම කල්පනා කරන්ට ඕනෑ.


පවට ලැජ්ජා නැති කමත්, පවට භය නැති කමත් සමාජයේ තියෙනවා නම්, එහි ජීවත් වෙන අය සතුන්ගේ මට්ටමට වැටෙනවා. මනුස්ස ගුණධර්ම එතන නැතිවෙලා යනවා. මනුස්ස රූපය තියෙන, මනුස්සයින් ඉඳීවි. නමුත් එතන සතුන්ගේ හැසිරීම් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ඒ ස්වභාවය දැනගෙන තනි තනියෙන් කල්පනා කරන්ට ඕන ‘මගෙන් ඒ වගේ සමාජයට අහිත පිණිස පවතින හීන දේවල් සිද්ධ වෙන්ට දෙන්ට හොඳ නෑ. මම සමාජයට යහපතක් කරන කෙනෙක් බවට පත්වෙන්ට ඕන. මම ලඟ ඒ කළු ධර්මතා තියෙනවා නම් ඒවා බැහැර කරගන්ට ඕන’ කියලා තනි තනියෙන් තම තමා ම කල්පනා කරන්ට ඕන.


ඒ විදියට කල්පනා කරන්ට පුළුවන්කම තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිමක් තිබුණොත්. භාග්‍යවතුන් වහන්සේ තමයි පෙන්වා දෙන්නේ එබඳු ධර්මයන් ලෝකයේ තියෙනවා කියලා. සමාජය පාලනය කරන, සමාජයට අහිත කරන, සමාජයට විපත ඇති කරන මේ වගේ ධර්මයන් තියෙනවා කියලා පෙන්වා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් මේ ධර්මය ඉගෙන ගත්තොත් තම තමා ම යහපත් කෙනෙක් බවට පත්වෙන්ට තම තමා ම කැමති වෙනවා. එයා පවට ලැජ්ජාව නැතිකම බැහැර කරගන්නවා. පවට භය නැතිකම බැහැර කරගන්නවා. ඒ අය පවට ලැජ්ජාව උපදවා ගන්නවා. පවට භය උපදවා ගන්නවා. ඒවා සමාජය පාලනය කරන සුදු ධර්මතා විදිහට යි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ.


ඒ උතුම් ගුණධර්ම ඇති කරගත්තොත්, ඒ උතුම් ගුණධර්ම වලින් යුක්ත කෙනාගෙන් තමාට විපත පිණිස යමක් සිද්ධ වෙන්නෙත් නෑ. අනුන්ට විපත පිණිස යමක් සිද්ධ වෙන්නෙත් නෑ. ඒ මට්ටමට ධර්මය පුරුදු කරගත්තොත් අපි අපේ ජීවිතය දියුණු කරගත්ත අය බවට පත්වෙනවා. අපේ ජීවිතය ඒ විදියට දියුණු කරගත්තොත් අපට පුළුවන් සමාජයට හොඳ උපකාරයක් කරන්ට. තමන්ගේ ජීවිතය දියුණු කරගන්නේ නැතිව ලෝකයට හොඳ උපකාර කිරීම මුලාවක්. ඒක කවදාවත් කරන්ට බෑ.


අපි ලෝකයට යහපතක් ඇති කරන්ට පුළුවන් අය බවට පත්වෙන්ට ඕනෑ. ලෝකයට යහපතක් ඇති කරන්ට පුළුවන් විදියේ අය බවට පත්වෙන්ට නම් අපි ඒකට සුදුස්සෝ බවට පත්වෙන්ට ඕනෑ. ඒ සඳහා තිබිය යුතු සැබෑ ම සුදුසුකම තමයි, මේ සමාජය පාලනය කරන කළු ධර්මතා අපි ලඟ තියෙනවා නම්, ඒවා බැහැර කරගන්ට ඕනෑ. *අපිරිසිදු අතකින් යමක් ඇල්ලුවොත්, ඒ අල්ලපු දේ අපිරිසිදු වෙලා යනවා නේද? ඒ වගේ ම තමයි අපිරිසිදු සිතකින් යමක් කළොත් ඒ ක‍්‍රියාව අපිරිසිදුයි.* එහෙනම් සමාජයට උපකාර කරන්ට නම්, මුලින් අපි උපකාර කරන්ට සුදුසු අය බවට පත්වෙන්ට ඕන.


උපකාර කරන අය බවට පත්වෙන්ට උවමනා වටිනාම දේ තමයි, මේ සමාජය පාලනය කරන, හීන විදියේ දේවල් සමාජයට දායාද කරන, පවට ලැජ්ජා නැති කමත් පවට භය නැති කමත් කියන කළු ධර්මතා දුරු කරගන්ට කැමති වීම. ඒ ධර්මතා දුරු කරගැනීමෙන් ම තමයි සමාජයට උපකාර කරන්ට හොඳ සුදුස්සෝ බිහි වෙන්නේ. ඒ අය භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයින්. ඒ අය තමාටත් හිත පිණිස පවතින, අන් අයටත් හිත පිණිස පවතින දේවල් කරගන්නවා. ඒ නිසා පවට ලැජ්ජාව සහිත අය බවට පත්වෙන්ට ඕන. පයට භය සහිත අය බවට පත්වෙන්ට ඕන.


පවට ලැජ්ජාව නැති කමත් පවට භය නැති කමත් කියන ධර්මතා යම් තැනක තියෙනවා නම් එතන කාය සුචරිතය පුරුදු කරගන්ට බෑ. කාය දුෂ්චරිතය තමයි තියෙන්නේ. වචී සුචරිතය එතන පුරුදු කරගන්ට බෑ. වචී දුෂ්චරිතය එතන තියෙනවා. මනෝ සුචරිතය පුරුදු කරගන්ට බෑ. මනෝ දුෂ්චරිතය එතන තියෙනවා. ඒ නිසා කළු ධර්මතා බැහැර කරගෙන පවට ලැජ්ජාව, පවට භය උපදවා ගත්තොත් එතන කාය දුෂ්චරිතය බැහැර කරන්ට පුළුවන්. කාය සුචරිතය පුරුදු කරගන්ට පුළුවන්. වචී දුෂ්චරිතය බැහැර කරන්ට පුළුවන්. වචී සුචරිතය පුරුදු කරගන්ට පුළුවන්. මනෝ දුෂ්චරිතය බැහැර කරන්ට පුළුවන්. මනෝ සුචරිතය පුරුදු කරගන්ට පුළුවන්.


ඒ විදියට දුෂ්චරිතය බැහැර කරමින් සුචරිතය පුරුදු කරන කෙනා, මේ ජීවිතේ සැප සේ වාසය කරනවා. මේ ජීවිතේ සැපසේ වාසය කරන්ට පුළුවන් කෙනා තමාට යහපත කරගෙනයි ඉන්නේ. තමාට යහපත කරගත්ත කෙනාට පුළුවන් අන් අයට යහපත කරන්ට. එතකොට තමන් සැබෑ ම සමාජ සේවකයෙක් බවට පත්වෙලා. සමාජයට යහපත කරන්ට පුළුවන් සුදුස්සෙක් බවට පත්වෙලා. එයා ගොඩාක් පින් කරගන්නවා. එයා කය බිඳිලා මළාට පස්සේ, නරක තැනක ඉපදෙන්නේ නෑ. එයා ඉපදුනොත් නියත වශයෙන් ම සුගතියේ ඉපදෙනවා.


අපි භාග්‍යවතුන් වහන්සේගෙන් යම් දෙයක් ඉගෙන ගත්තා නම්, යම් දෙයක් අපිට ලැබුනා නම්, ඒක නසන්නේ නැතිව අන් අයටත් ලැබෙන විදියට අපේ ජීවිතේ හැඩ ගහගන්ට ඕන. පවට ලැජ්ජාව නැති කමත්, පවට භය නැති කමත් අපේ ජීවිතෙන් බැහැර කරගත්තොත් අපි අපිටත් යහපත කරගන්නවා. අන් අයටත් යහපත කරලා දෙන්ට පුළුවන්කම තියෙනවා. මේ ජීවිතේ පින් රැස් කරගන්ටත් පුළුවන්. සැප සේ ඉන්ටත් පුළුවන්. මේ ජීවිතේ දී පිරිනිවන්පාන්ට බැරි වුණොත්, ඊලඟ ජීවිතේ සැප සහිත තැනක අනිවාර්යෙන් ඉපදෙනවා.


එයා ශාසනය නසන කෙනෙක් නෙවෙයි. දෙවියන් මිනිසුන් උදෙසා බොහෝ කලක් ශාසනය ආරක්‍ෂා කරගන්ට පුළුවන්කම තියෙන කෙනෙක් බවට පත්වෙනවා. ඒ නිසා අපි හැමදෙනාට ම සෙත් පතනවා, භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් උතුම් ධර්මය ඉගෙන ගෙන, තම තමාගේ ජීවිත වල සැඟවිලා තියෙන, මතුපිට ට නොපෙනෙන, සමාජයට විපත පිණිස පවතින, තමාටත් අනුන්ටත් අයහපත පිණිස පවතින, ‘කළු ධර්මතා’ නම් වූ පවට ලැජ්ජාව නැති කමත්, පවට භය නැති කමත් කියන ඒ හීන ස්වභාවයට මනුස්සයා ඇද දමන අකුසලයන් බැහැර කරගන්ට සියළු දෙනාට දුර්ලභ වූ භාග්‍ය උදාවේවා !


_______________________________________


පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේගේ සදහම් අනුශාසනාවක් ඇසුරිනි.


( උපුටා ගැනීම - www.damsayura.lk )