🙏 ස්වාක්ඛාතෝ භගවතා ධම්මො, සන්දිට්ඨිකො, අකාලිකො, එහි පස්සිකො, ඕපනයිකො, පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහි. ඉමෙහි ඡහි ගුණෙහි සමන්නාගතං ධම්මරතනං සරණං ගච්ඡාමි. ධම්මරතනං සිරසා නමාමි.


🙏 සූත්‍රාභිධර්ම විනය සංඛ්‍යාත පිටකත්‍රය ධර්ම හා සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නව ලෝකෝත්තර ධර්මය ද තථාගතයන් වහන්සේ විසින් මුල මැද අග යන සෑම තැනම යහපත් වන පරිදි මැනැවින් දේශනය කරන ලද්දේ ය.


 🙏 තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන මේ නවලෝකෝත්තර ධර්මය අනුන් කියනු ඇසීමෙන් නොව සම්‍යක් ප්‍රතිපත්තියෙන් තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකි ධර්මයක් වන්නේ ය.


 🙏 රාගාදී කෙලෙසුන් නසන්නා වූ ද ලෝකෝත්තර නිර්වාණය දක්නා වූ ද සතර මාර්ග ධර්මය ඇති කරගත් තැනැත්තාට කල් නො ගොස් එකෙණෙහි ම ඵලදෙන ධර්මයක් වන්නේය.


 🙏 මේ නවලෝකෝත්තර ධර්ම රත්නය කාකදන්තාදිය මෙන් සත්‍ය වශයෙන් නැතියක් නොව පරමාර්ථ වශයෙන් ඇතියක් වන බැවින් ද ඔපකළ මිණිරුවනක් සේ සුපරිශුද්ධ ධර්මයක් වන බැවින් ද බියක් නැතිව එව බලව කියා අන්‍යයන්ට පෙන්විය හැකි ධර්මයක් වන්නේය.


 🙏 මේ අත්‍යුත්තම පරම ශාන්ත නවලෝකෝත්තර ධර්මය හිස ගිනි ගැනීම, හැඳිවත ගිනි ගැනීම වැනි කරුණු ගැන පවා උදාසීනව සිය සිත්සතන්හි පිහිටවා විසීමට සුදුසු ධර්මයක් වන්නේ ය.


 🙏 මේ නවලෝකෝත්තර ධර්මය අනුන්ගේ කරෙහි ඇති පළඳනාවක් බලන්නාක් මෙන් අන් තැනෙකින් නොව සම්‍යක් ප්‍රතිපත්ති පිරීමෙන් ස්වසන්තානයෙන් ම දැකිය හැකි ධර්මයක් වන්නේ ය.


 🙏 මේ සවැදෑරුම් ගුණයෙන් යුක්ත වූ ශ්‍රී සද්ධර්ම රත්නය දිවි හිමියෙන් සරණ යෙමි. ඒ ශ්‍රී සද්ධර්ම රත්නය ශීර්ෂයෙන් නමදිමි.


 අතිපූජනීය රේනුකාණේ චන්ද්‍රවිමල මහානායක ස්වාමීන්වහන්සේ විසින් රචිත පුණ්‍යෝපදේශය පොත්වහන්සේගෙනි ☸️🙏