නළ කුටි දායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඬු වලින් කුටියක් කොට පූජා කළ පිනින් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැප ද ලැබුණා හ.


(අපාදන පාලි 499 වන අපදානය)


නළාගාරික හිමි නාරද බුදුහිමිට බට කිලියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනින් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජවිය. අවසානයේ සිව්පිළිසිඹියා ලාභීව රහත් වීමට ද ඒ පින උපනිශ්‍රය විය.


(අපදාන පාලි 345 අපදානය)


තිණකුටිදායක හිමි මීට කල්ප අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටිය දී දිනක් කැලයට ගිය විටක දී ලී කෑලි හයක් ගෙන දෙක දෙක කතිර සිටින ලෙස බැඳ ඒ මත තෘණ අතුරා කුටියක් කොට මහා සංඝරත්නයට පිදූ පිනින්,


තව්තිසා දෙව්ලොව දෙව් විමනක් පහළ විය.

උපනූපන් තැන තම සිතේ හැටියට ප්‍රාසාද පහළ විය.

බිය, තැති ගැනීම්, ලොමු දැහැ ගැනීම් නැත්තෙක් වේ.

සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වෘක, කරබානා, වලස් ආදී වන සතුන් තමා යන විට පාරෙන් ඉවත් වේ.

සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන් රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වේ.

(අපදාන පාලි 337 වන අපදානය)


අවසානයේ අප බුදු සසුනේ දී ශාන්ත නිවන් සුවයට පත් වීමට ඒ පින හේතු වුණා. ආවාසයක් කොට පූජා කිරීම සියල්ල දුන්නා වේ යැ යි කිංද ද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.