176.10. 

ඒකං ධම්මං අතීතස්ස

මුසාවාදිස්ස ජන්තුනෝ

විතිණ්ණපරලෝකස්ස

නත්ථි පාපං අකාරියං


සත්‍යවාදී බව නම් වූ එකම එක ගුණ ධර්මය පවා ඉක්මවා ගිහින්, බොරු දොඩවන කෙනෙකුට පරලොව ගැන කිසිම හැඟීමක් නෑ. ඒ නිසා ඔහුට කරන්ට බැරි පාපයකුත් නෑ.


(ජේතවනාරාමයේදී චිංචිමාණවිකාව අරභයා වදාළ ගාථාවකි.)


177.11. 


න වේ කදරියා දේවලෝකං වජන්ති

බාලා හවේ නප්පසංසන්ති දානං

ධීරෝ ච දානං අනුමෝදමානෝ

තේනේව සෝ හෝති සුඛී පරත්ථ


මසුරුකම් කරන අය කවදාවත් දෙව්ලොව යන්නෙ නෑ. අසත්පුරුෂයෝ කවදාවත් දන් දීම ප්‍රශංසා කරන්නෙ නෑ. දන් දීමක් අනුමෝදන් වීම වුණත් කරන්නෙ ප්‍රඥාවන්තයෙක් තමයි. පරලොවදී සැප ලබන්ට ඔහුට ඒකමයි හේතු වෙන්නේ.


(ජේතවනාරාමයේදී කොසොල් රජුගේ අසදෘශ මහා දානය අරභයා වදාළ ගාථාවකි.)


178.12. 


පථව්‍යා ඒකරජ්ජේන

සග්ගස්ස ගමනේන වා

සබ්බලෝකාධිපච්චේන

සෝතාපත්තිඵලං වරං


මුළු පෘථිවිය ම ජයගෙන, චක්‍රවර්තී රජකෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකල ලෝකයට ම අධිපති වෙනවාටත් වඩා, සෝවාන් ඵලයට පත්වීම ම උතුම්.


(ජේතවනාරාමයේදී අනේපිඬු සිටුතුමාගේ කාළ නම් පුතා අරභයා වදාළ ගාථාවකි.)