අපගේ වාස භූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නා වූ ද, බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූ ද, සර්වඥයන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තා වූ ද උත්තම භූමියෙකි. මහියංගණ චෛත්‍යයෙහි සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් *කේශ ධාතූන්* වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති. දකුණු *අකු ධාතූන්* වහන්සේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ්හි වැඩ සිටින සේක. *උර්ණරෝම* ධාතූන් වහන්සේ මිහින්තලයේ සේල චෛත්‍යයෙහි වැඩ සිටිති. *ලලාට ධාතූන්* වහන්සේ හා *කේශ ධාතූන්* වහන්සේලා ද සේරුවාවි මංගල චෛත්‍යයෙහි වැඩ සිටිති. අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයෙහි * ද්‍රෝණයක්* ධාතූන් වහන්සේලා වැඩ සිටිති. *දන්ත ධාතූන්* වහන්සේ මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටිති. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැනි වර්ෂයේ *සුමන සාමණේරයන් වහන්සේ* විසින් බුදුන් වහන්සේ පරිභෝග කළ පාත්‍ර‍ය හා එය පුරා ධාතුන් වහන්සේලා ද මේ දිවයිනට ගෙනෙන ලදහ. ඒ ධාතූන් වහන්සේලා මේ දිවයිනේ නොයෙක් දිශාවල දාගැබ් ආදියෙහි වැඩ සිටිති. *පාත්‍ර‍ ධාතුව* ගෙන ආ බව මුත් දැනට වැඩ සිටින තැනක් අසන්නට නැත. සර්වඥයන් වහන්සේ පරිභෝග කළ *පටියෙන් කොටසක්* අනුරාධපුරයේ ජේතවන චෛත්‍යයෙහි පිහිටා තිබේ. තථාගතයන් වහන්සේ පරිභෝග කළ *මැණික් පුටුවක්* නිදන් කොට නාගදීප චෛත්‍යය කරවන ලදි. නාගදීපයේ පුරාණ චෛත්‍යයක් දැනට දක්නට නැත. තථාගතයන් වහන්සේ පරිභෝග කළ *මිණිපලඟක්* කල්‍යාණි චෛත්‍යයේ පිහිටා තිබේ. එහි ම තථාගතයන් වහන්සේ පරිභෝග කළ *ජල සාටිකාවක්* ද ඇති බව කියති. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ පිහිටා තිබේ. *ලක්දිව තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැදී සිටීමෙන් පරිභෝග කළ ස්ථාන ද සොළොසෙකි.*


ඔවුහු නම් :


• *මහියඞ්ගණ චෛත්‍යය පිහිටි තැන ය.*

• *නාගදීප චෛත්‍යය පිහිටි තැන ය.*

• *කල්‍යාණි චෛත්‍යය පිහිටි තැන ය.*

•  *සමන්තකූට පර්වත මුදුන ය.*

• *දිවාගුහාවය*

• *දීඝවාපි චෛත්‍යය පිහිටි තැන ය.*

• *මුතියංගන චෛත්‍යය පිහිටි තැන ය.*

• *තිස්සමහාරාම චෛත්‍යය පිහිටි තැන ය.*

• *ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි තැන ය.*

• *මිරිසවැටි සෑය පිහිටි තැන ය.*

• *රුවන්වැලි මහසෑය පිහිටි තැන ය.*

• *ථූපාරාමය පිහිටි තැන ය.*

• *අභයගිරිය පිහිටි තැන ය.*

• *ජේතවනය පිහිටි තැන ය.*

• *සේල චෛත්‍යය පිහිටි තැන ය.*

• *කතරගම කිරි වෙහෙර පිහිටි තැන ය.*

යන මේ ස්ථානයෝ ය.🙏