දානය : සාංඝික දානය, පෞද්ගලික දානය යි දෙවැදෑරුම් වේ. එක් පුද්ගලයකුට හෝ පුද්ගලයන් බොහෝ ගණනකට වෙන් වෙන් වශයෙන් හෝ දීම පෞද්ගලික දානය ය. මෙය අසවල් හාමුදුරුවන්ටය මෙය අසවල් හාමුදුරුවන්ටය කියා වෙන් කිරීමක් නැති ව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හට දීම සාංඝික දානය ය. පෞද්ගලික දාන තුදුසක් හා සාංඝික දාන සතක් දැ යි එක් විස්සක් දක්ෂිණා විභඞ්ග සූත්‍රයෙහි දක්වා තිබේ. එහි පෞද්ගලික දාන තුදුස මෙසේ ය.
1.ලොව්තුරා බුදුනට දෙන දානය,
2.පසේ බුදුනට දෙන දානය,
3.රහතුනට දෙන දානය,
4.අර්හත්ඵලයට පැමිණෙනු පිණිස පිළිපන් තැනැත්තාට දෙන දානය,
5.අනාගාමි පුද්ගලයාට දෙන දානය,
6.අනාගාමි ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය,
7.සකෘදාගාමි පුද්ගලයාට දෙන දානය,
8.සකෘදාගාමි ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය,
9.සෝවාන් පුද්ගලයාට දෙන දානය,
10.සෝවාන් ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය,
11.සර්වඥ ශාසනයෙන් බැහැර කර්මවාදී ධ්‍යාන ලාභීන්ට දෙන දානය,
12.සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන සිල්වතුන්ට දෙන දානය,
13.සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන දුශ්ශීලයන්ට දෙන දානය,
14.තිරිසනුන්ට දෙන දානය.
යන මේ තුදුස පෞද්ගලික දානයෝ ය. තිසරණ ගත උපාසකයෝ ය, පන්සිල් රක්නා උපාසකයෝ ය. අටසිල් නව සිල් දස සිල් රකින්නෝ ය, සාමණේර ශීලය රකින්නෝ ය, උපසම්පදා ශීලය රකින්නෝ ය යන සියල්ලෝ ම සෝවාන් ඵලය ලබනු පිණිස පිළිපන්නෝ ය. එ බැවින් ඔවුන් අතුරෙන් කවරකුට වුව ද දීම දස වන දානය වේ. එහෙත් ඔවුන්ගෙන් ගුණ වැඩි අයට දීම වඩා උසස් දානය වේ. දොළොස් වන දානයෙහි කී ශාසනයෙන් බැහැර වූ පෘථග්ජන සිල්වත්හු නම් පවින් වැළකී දැහැමින් ජීවත් වන්නා වූ අබෞද්ධයෝ ය. තෙළෙස්වන දානයෙහි කී පෘථග්ජන දුශ්ශීලයෝ නම් මසුන් මැරීම් ආදියෙන් අධර්මයෙන් ජීවත් වන අබෞද්ධයෝ ය. ප්‍රාණඝාතාදිය කරන බෞද්ධයා ද තිසරණ ගත් බැවින් දස වන දානයෙහි කී පුද්ගලයන්ට අයත් වේ.
උපුටා ගැනීම-: බෞද්ධයාගේ අත්පොත ( අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි )
0 Comments