භාග්‍යවතුන් වහන්සේ පාටලී ගමේ උපාසකවරුන් ඇමතා මෙසේ වදාලා.... “පින්වත් ගෘහපතිවරුනි, දුස්සීල කෙනා තුළ සිල් නැතිවීම නිසා, මේ ආදීනව පහක් තියෙනවා. 

මොනවද ඒ පහ?


(1)

පින්වත් ගෘහපතිවරුනි, දුස්සීල කෙනා තමන් තුළ සිල් නැති නිසා ප්‍රමාදී කෙනෙක්. ඒ නිසා ඔහුට තියෙන සැප සම්පත් ටික ටික නැතිවෙලා යනවා. මේක තමයි සීලය නැතිවීම නිසා, දුස්සීල කෙනාට සිද්ධවෙන පළවෙනි විපත.


(2)

පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සීලය නැතිවෙච්ච, දුස්සීල කෙනාගේ ඒ අයහපත් අපකීර්ති රාවය හැමතැනම පැතිරිලා යනවා. මේක තමයි සීලය නැතිවීම නිසා, දුස්සීල කෙනාට සිද්ධවෙන දෙවෙනි විපත.


(3)

පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල් නැති දුස්සීල කෙනා, යම්කිසි පිරිසක් ඉදිරියට යන්න වුනොත් ඒ කිව්වෙ රජ කුලයේ පිරිසක් ඉදිරියට හරි, බමුණු කුලයේ පිරිසක් ඉදිරියට හරි, ගෘහපතිවරු පිරිසක් ඉදිරියට හරි, ශ්‍රමණ පිරිසක් ඉදිරියට හරි, හැබැයි ඔහුට යන්න සිද්ධ වෙන්නේ කිසිම තේජසක් නැතුව මුහුණත් බිමට හරවාගෙනම තමයි. මේක තමයි සීලය නැතිවීම නිසා, දුස්සීල කෙනාට සිද්ධවෙන තුන්වෙනි විපත.


(4)

පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල් නැති දුස්සීල කෙනාට මිය පරලොව යන්න සිද්ධ වෙන්නේ සිහි මුළා වෙලා. මේක තමයි සීලය නැතිවීම නිසා, දුස්සීල කෙනාට සිද්ධවෙන හතරවෙනි විපත.


(5)

පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල් නැති දුස්සීල කෙනා තමන්ගේ කය බිඳිලා, මිය පරලොව යනවා. මිය ගිහිල්ලා සැපයක් නැති, දුගතිය වූ, විනිපාත වූ නිරයේ තමයි උපදින්න සිද්ධ වෙන්නේ. මෙන්න මේක තමයි සීලය නැතිවීම නිසා, දුස්සීල කෙනාට සිද්ධවෙන පස්වෙනි විපත.


මේවා තමයි පින්වත් ගෘහපතිවරුනි, දුස්සීල කෙනාට සිල් නැතිවීම නිසා විඳින්න වෙන ආදීනව පහ


ඛුද්දක නිකාය - උදාන පාළි

පාටලීගාමීය සූත්‍රයෙන් .