🌺 දෙවිවරු කියන්නේ කවුද?🌺


එක් සක්වලක භූමි තිස් එකක් තිබේ. එයින් භූමි  එකොළසක්ම කාමාවචර භූමි වේ. ඒ කාමාවචර භූමි එකොළොලොසේ පස්වන භූමිය මනුෂ්‍ය භූමිය වන අතර, ඊට ඉහලින් ඇති භූමි හය දිව්‍ය භූමි වේ. ඒ දිව්‍ය ලෝක වල වාසය කරන පිරිස දෙවිවරු ලෙස හඳුන්වනු ලැබේ.


🌺 ශක්‍ර දිව්‍ය රාජයා


මෙම දෙවිවරු අතර තව්තිසා දෙව්ලොවට අධිපති කම් කරන දෙවියන් හඳුන්වන්නේ ශක්‍ර දිව්‍ය රාජයා ලෙසයි. ඔහු  ත්‍රිපිටකයේ විවිධ තැන්වලදී හඳුන්වන්නේ "දේවානමින්ද" යන නමිනි. ශක්‍ර දිව්‍ය රාජයා ගැන "සුවීර" සූත්‍ර වර්ණණාවෙන් බොහෝ කරුණු දැන ගත හැකිය. එහි එන විස්තරය මෙසේයි.


මගධ රටේ "මචල" කියන ගමේ, "මඝ" නමින් හඳුන්වන තරුණයෙකු ජීවත් විය. ඔහු තවත් පිරිමින් තිස්තුන් දෙනෙකු සමඟ යහපත් වැඩ කරමින් සප්ත ව්‍රත පද සම්පූර්ණ කළේය. ඒ නිසාම ඔහු මරණින් පසු තවුතිසා දිව්‍ය ලෝකයේ මහේශාක්‍ය දෙවි කෙනෙක් ලෙස උප්පත්තිය ලැබීය. ඔහුගේ සහායක දෙවිවරු වූයේ අනිත් තිස්තුන්දෙනා යි. කලින් දිව්‍ය ලෝකයේ පහළ ව සිටි දෙවිවරුන්ට වඩා මේ අළුත් පිරිස මහේශාක්‍ය දෙවිවරු විය.


🌺 සුරයෝ සහ අසුරයෝ


මේ අලුත  පහළ වූ දෙවිවරුන්ගේ මහේශාක්‍ය බව නැති කරන්නට පැරණි දෙවිවරු, ගණ්ඩපානය නම් මත්වන සුරාවක් සූදානම් කළේය. එය පානය කරන මොහොතේ ශක්‍රයා තමන්ගේ පිරිසට "ගණ්ඩපානය" පානය නොකරන ලෙසත් බොන ආකාරය පමණක් පෙන්වන ලෙසත් දැනුම් දුන්නේය.


ඒ පැරැණි දෙවිවරු මේ මත්ද්‍රව්‍ය හිතේ හැටියට පානය කර, හොඳටම මත් වී, ඒ ඒ තැන්වල වැටී නිදා ගන්නට විය. ශක්‍රයා තමන්ගේ පිරිසත් සමග එක්ව මධූතු එම දෙවිවරුන් ගෙන මහාමේරු පර්වතයේ පහළට විසි කරවී ය. මහාමේරු පර්වතයේ මැද හරියට වැටෙන විට ඔවුනට සිහිය ආවේය. එවිට ඔවුන් අපි සුරා පානය කළේ නැහැ කියා හඬ ගා කීය. එතැන් සිට ඒ අය අසුරයින් ලෙස හඳුන්වන්නට විය.  මහාමේරු පර්වතයේ පහළ ම දහසක් යොදුන් ඇති අසුර භවනය ඔවුන්ගෙන් පහළ විය. අසුරයින්ගේ උපත සිදු වූයේ ඒ ආකාරයටයි.


ශක්‍රයා ඔවුනට නැවතත් පැමිණෙන්නට බැරි වන ආකාරයට, සුරපුරයත්, අසුර පුරයත් අතර  පස් ආකාරයකට පිරිස් යොදා ආරක්ෂක රැකවල් දැමීය. එහි පලමුව සිටින්නේ නාග පිරිසයි. දෙවෙනි පිරිස වන්නේ සුපණ්ණයෝයි. සුපණ්ණ කියන්නේ ගුරුලන්ටම නමකි. තුන් වැනි පිරිස වන්නේ අසුර රාක්ෂසයින් වන කුම්භාණ්ඩයෝයි. සතර වන පිරිස වන්නේ යුධකාමී පිරිසක් වන යක්ෂයින්ය. පස්වන පිරිස වන්නේ, වෛශ්‍රවණ, ධ්‍රතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ යන සතරවරම් දෙවිවරුන්ය.


අසුරයින් විඳින ආයුෂ, වර්ණය , යසස, ඓශ්චර්ය යනාදී සැප සම්පත් තවුතිසා දිව්‍යලෝකය හා සමාන මට්ටමක තිබේ. අසුර පුරය හැම ආකාරයකටම සුර පුරය හා සමාන වේ. ඒ නිසා අසුරයින්ට තමන්ගේ සුරපුරය නැති වූ බව දැනෙන්නේ නැත. අසුර පුරය හැම අතින්ම සුරපුරය හා සමාන වුවත්, අසුරයින් තමන්ට සුරපුරය නැති වූ බව දැන ගන්නා එක අවස්ථාවක් තිබේ. ඒ තමයි අසුර පුරයේ තිබෙන්නේ පාටලී වෘක්ෂය යි. සුරපුරයේ තිබෙන්නේ පාරිච්ඡත්තක වෘක්ෂය යි. පාඨලී වෘක්ෂයේ මල් පිපෙන විට තමන්ට සුරපුරය අහිමි වූ බව  දැනගන්නා අසුරයින් තමන්ට සුරා පොවා තමන්ව පහළට හෙළු ශක්‍රයා සමඟ යුද්ධ කරන්නට පැමිණෙයි. සක්‍රයාගේ මහා බලසම්පන්න පංච සේනාවන් ඔවුන්ට පහර දී ඔවුන්ව එළවයි.


ඉහත සඳහන් කළේ  සංයුත්ත නිකාය අටුවාවේ, සක්ක සංයුත්තයේ එන, සුවීරසුත‍්තවණ‍්ණනාවේ ශක්‍ර දිව්‍ය රාජයා, දෙවිවරු සහ අසුරයින් ගැන සඳහන් විස්තරය යි.


🌺 දෙවිවරු උපත ලබන්නේ කෙසේද?


සත්වයින් උත්පත්තිය ලබන ආකාර හතරක් තිබේ. ඒ අණ්ඩජ (බිත්තරවලින් උපදින) ජලාබුජ (ගර්භාෂයකින් උපදින) සංසේදජ (තෙත් ස්ථානවල උපදින) ඕපපාතික (කර්ම බලයෙන් වැඩූනු ශරීර ඇතිව ඉබේ පහළ වන) යන ක්‍රම සතරයි. මෙයින් දෙවිවරු උපත ලබන්නේ ඕපපාතික පිරිසක් ලෙසයි.


දෙවිවරු ඕපපාතිකව පහළ වන්නේ කොහේද යන ප්‍රශ්නයට පිළිතුරු සං‍යුත්ත නිකායේ දේවපුත්ත සං‍යුත්තයේ පළමු කස්සප සූත්‍ර වර්ණණාවේ එයි. එහි සඳහන් වන්නේ 


"දෙවානඤ‍්හි අඞ‍්කෙ නිබ‍්බත‍්තා පුරිසා දෙවපුත‍්තා නාම, ඉත්‍ථියො දෙවධීතරො නාම හොන‍්ති."


"දෙවියන්ගේ ඇකයෙහි පහළ වන පිරිමි දෙවිවරු දිව්‍ය පුත්‍රයෝ වෙයි. ස්ත්‍රීන් දේව දූවරුන් වේ." යන්න එහි තේරුමයි. 


එයින් කියවෙන්නේ දිව්‍ය පුත්‍රයින් සහ දේව දියණියන් දෙවියන්ගේ ඇකයෙහි උපදින බවයි.


අසංග ආචාර්‍ය්‍යපාදයන්ගේ යෝගාචාර භූමි නැමති පොතෙහි මේ ගැන වැඩි විස්තර සඳහන් වේ. චාතුර්මහාරාජික දෙවියන්ගේ අංශයෙහි හෝ උකුළෙහි අවුරුදු පහක් පමණ වයස ඇති අය මෙන් අංග සම්පූර්ණ මිනිස් සිරුරක් ඇතිව දේව දරුවෝ ඕපපාතිකව උපත ලබති.


තාවතිංස දිව්‍ය ලෝකයෙහි අවුරුදු හයක් තරම් වයස ඇති අය මෙන් පහළ වෙයි. යාම දිව්‍ය ලෝකයෙහි අවුරුදු හතක් ඇති අය මෙන්ද,


තුසිත දිව්‍ය ලෝකයෙහි අවුරුදු අටක් ඇති අය මෙන්ද, නිර්මාණරතී දිව්‍ය ලෝකයෙහි අවුරුදු නවයක් ඇති අය මෙන්ද, පරනිර්මිත වශවර්තී දිව්‍ය ලෝකයෙහි අවුරුදු දහයක් ඇති අය මෙන්ද, අංග සම්පූර්ණ ශරීර ඇතිව දේව දරුවෝ ඕපපාතිකව උපත ලබයි. 


🌺 දෙවියන්ගේ ලිංගික සංසර්ගය


කාම භූමි එකොළසින් නරකයෙහි උපන් සත්වයින්ට මෛථූන සේවනයක් කිසි සේත්ම නැත. එහි දුක් විඳින ඔවුනට ස්ත්‍රීන් පිරිමින් කෙරෙහි කාමච්ඡන්දයක් ඇති වන්නේ නැත.

තිරිසන්, ප්‍රේත, මනුෂ්‍ය යන් මේ අය අතර මෛථූන සේවණය තිබේ. මේ අයගේ ලිංගික සංසර්ගයෙන් ශුක්‍ර ශ්‍රෝණිතයන්ද නික්මේ.


චාතුර්මහාරාජික දෙවියන්ගේ ද්වයංද්වය සමාපත්තිය  (ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුගේ සංසර්ගය, මෛථූනය) වන්නේ ඔවුනොවුන් වැළඳ ගැනීමෙන් පමණී. තාවතිංස, යාමය යන දිව්‍ය ලෝක දෙකේද දෙවියන්ගේ මෛථූන සේවනය වන්නේ ඔවුනොවුන් වැළඳ ගැනීමෙන් කාම ඩාහය සංසිඳුවා ගනී. මෙහිදී ශුක්‍ර ශ්‍රෝණිත පහ වීමක් වන්නේ නැත.


තුසිත දිව්‍ය ලෝකයේ දෙවියන් කාමඩාහය සංසිඳුවා ගන්නේ ඔවුනොවුන් අල්ලා ගැනීමෙන් පමණී. 


නිර්මාණරතී දෙවියන් ඔවුනොවුන් සිනාසීමෙන්ද, පරනිර්මිත වසවර්තී දෙවියන් ඔවුනොවුන් දැකීම් මාත්‍රයෙන්ද, කාමඩාහය සංසිඳුවා ගනී. මේ ගැන වැඩි විස්තර "යෝගාචාර භූමි" පොතේ සඳහන් වේ.


🌺🌺 දිව්‍යලෝක වල ආයු කාළය අභිධර්ම පොත්වල සඳහන් වන්නේ මේ ආකාරයටයි.


🌺 කාම සත්ත්වයන් ගේ ආයුෂ


කාම සත්ත්වයන් අතුරින් සතර අපායයෙහි උපන් සත්ත්වයන්ටත්, මිනිසුන්ටත්, විනිපාතික අසුරයන්ටත් ආයු නියමයක් නැත.


චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයේ ආයුෂ දිව්‍ය ගණනින් අවුරුදු (500) පන්සියයක් වේ. මනුෂ්‍යලෝකයේ අවුරුදු පනසක් චාතුර්මහාරාජිකයේ එක් දිනයෙකි. එවැනි දින තිහක් එහි මාසයකි. එවැනි මාස දොළොසක් එහි අවුරුද්දකි. එහි පරමායුෂ එවැනි දිව්‍ය අවුරුදු පන්සියයකි. ඒ අවුරුදු පන්සියය මිනිස් ගණනින් අවුරුදු (90,00000) අනූ ලක්ෂයෙකි.


තාවතිංස දිව්‍ය ලෝකයේ පරමායුෂ චාතුර්මහාරාජිකයෙහි මෙන් සතර ගුණයක් වේ. මේ ආකාරයට පරනිර්මිතවශවර්ති දිව්‍යලෝකය දක්වා දිව්‍යලෝකවල ආයුෂ එකිනෙක සතර ගුණය බැගින් වැඩි වේ.


තාවතිංස දිව්‍ය ලෝකයේ පරමායුෂ එහි අවුරුදු ප්‍ර‍මාණයෙන් අවුරුදු (1000) දහසක් වේ. මිනිස්ලොව අවුරුදු සියයක් එහි එක් දිනයෙකි. මිනිස් අවුරුදු ගණනින් තාවතිංසයේ ආයුෂ වර්ෂ (3,60,00000) තුන්කෝටි හැට ලක්ෂයෙකි.


යාමයේ ආයුෂය එහි ගණනින් පරමායුෂ (2000) දෙදහසකි. අපේ අවුරුදු දෙසියයක් එහි එක් දිනයෙකි. අපේ ගණනින් එහි ආයුෂය වර්ෂ (14,40,00000) දාහතර කෝටි හතළිස් ලක්ෂයෙකි.


තුෂිත දෙවියන්ගේ පරමායුෂ එහි ගණනින් වර්ෂ (4000) සාර දහසෙකි. අපේ වර්ෂ සාරසියයක් එහි එක් දිනයෙකි. අපේ වර්ෂ ගණනින් එහි ආයුෂය වර්ෂ (57,60,00000) සත් පනස් කෝටි සැට ලක්ෂයෙකි.


නිර්මාණරති දෙවියන්ගේ පරමායුෂ එහි ගණනින් වර්ෂ (8000) අට දහසකි. අපේ වර්ෂ අට සියයක් එහි එක් දිනයෙකි. අපේ ගණනින් එහි ආයුෂය වර්ෂ (230,40,00000) දෙසිය තිස් කෝටි සතළිස් ලක්ෂයෙකි.


පරනිර්මිත වශවර්ති දෙවියන්ගේ පරමායුෂ එහි ගණනින් (16000) දහසය දහසකි. අපේ වර්ෂ එක්දහස් සසියයක් එහි එක් දිනයෙකි. අපේ වර්ෂවලින් එහි ආයුෂය වර්ෂ (921,60,00000) නවසිය විසි එක් කෝටි සැට ලක්ෂයෙකි.


🌺🌺 දිව්‍ය ලෝක වල ආරම්භය සහ අවසානය සඳහන් වන්නේ මේ ආකාරයටයි.

 

කල්ප විනාශයේදී

ගින්නෙන් කල්ප විනාශය වන විට ආභස්සර බ්‍රහ්මලෝකයෙන් යට සියල්ල විනාශ වෙයි. ආභස්සර බ්‍රහ්මලෝකයෙන් ඉහළ සියල්ල ඉතිරි වේ.

ජලයෙන් කල්ප විනාශය වන විට සුභකිණ්හ බ්‍රහ්ම ලෝකයෙන් යට සියල්ල විනාශ වේ. සුභකිණ්හ බ්‍රහ්ම ලෝකයෙන් ඉහළ සියල්ල ඉතිරි වේ.

වාතයෙන් කල්ප විනාශය වන විට වේහප්ඵලයෙන් යට සියල්ල විනාශ වේ. වේහප්ඵල බ්‍රහ්ම ලෝකයෙන්  ඉහළ සියල්ල ඉතිරි වේ.


ගින්නෙන් කල්පය විනාශ වන විට,

කල්ප විනාශක මහ වැසි කෙළ ලක්ෂයක් එක විට වසින විට,  මිනිස්සු බීජ වපුරයි. ගවයන් කන තරමට ශස්‍ය වැඩුණු විට, වැසි පොදක්වත් නොමැතිව මේඝ ගර්ජනා ඇතිවෙයි. ඉන්පසුව වැස්ස සදහටම නතර වේ.


වැස්සෙන් ජීවත්වන සත්වයෝ ජීවිතය පවත්වා ගත නොහැකිව, මියගොස් දෙව්ලොව උපදී.  ඉන්පසුව ධ්‍යානාදිය උපදවාගෙන බ්‍රහ්ම ලෝකවල උපදී. මෙසේ දීර්ඝ කාලයක් වැසි නැති වන විට ජලයේ ජීවත් වන මාළුවන් වැනි සත්වයෝද මැරී දිව්‍ය ලෝකවල උපදී. ඔවුන් පෙර සංසාරයේ කළ පින් බලයෙන් භාවනා වඩා බ්‍රහ්ම ලෝකයෙහි උපදී.


මේ කාලයෙහි ලෝකබ්‍යූහ නම් දෙවිවරු කෙස් මුදා විසුරුවා ගෙන හඬමින් කඳුළු පිසමින් අවුරුදු ලක්ෂයකින් කල්ප විනාශය වන බව කියයි. මව් පිය උපස්තාන ආදී පින්කම් කරන්න යැයි කියයි.  එය අසා මිනිස්සුත්  භූමාටු දෙවිවරුත් පින්කම් කර දිව්‍ය ලෝක වල ඉපද, එහිදී වායෝ කසින භාවනා ආදිය කොට ධ්‍යාන උපදවා ගෙන, ක්‍රමයෙන් බ්‍රහ්මලෝකයේ උපදී. අනෙක් අය අපරාපරියවේදනීය කුසල කර්මයේ බලයෙන් දිව්‍යලෝකයේ උපදී. ඉන්  පසු ධ්‍යාන වඩා බ්‍රහ්ම ලෝකවල උපදී. සියලුම සංසාරගත සත්වයින්ට අපරාපරිය වේදනීය කර්ම තිබේ.


වැසි නැවතී බොහෝ කළක් ගිය පසු දෙවැනි ඉරක් පහළ වේ. මේ ආකාරයට සූර්‍ය්‍යන් හතක් පායයි. 


සත්වැනි සූර්‍ය්‍යයා පහල වූ විට කෝටි ලක්ෂයක් සක්වල එකම ගිනි ජාලාවක් වෙයි. සියක් යොදුන් පමණ මහත් කඳු පර්වත පැලී අහසෙහි දා, විනාශ වෙමින් චාතුර්මහාරාජිකය තෙක් පැතිරෙයි.


මේ ආකාරයට ඉතිරි දිව්‍යලෝක හයත් දැවී විනාශ වී, ප්‍රථම ධ්‍යාන භූමිය දක්වා ගින්න පැතිරෙයි. මෙසේ පවතින මහා ගින්න, ආභස්සර බ්‍රහ්මලෝකය හැර, එයට යටින් පිහිටි සියලුම ප්‍රථම ධ්‍යාන භූමි ද, කාම භූමි ද දවා විනාශ කරයි. එයට ඇතුලත් වන සියළුම ද්‍රව්‍යයන් අළු පමණ වත් ඉතිරි නොකොට දැවී ගිය පසු, ක්‍රමයෙන් ගින්න නිවී යයි. මෙයට ගතවන කාලයට සංවට්ට කල්පය යැයි කියනු ලැබේ. එය අන්තර කල්ප 64ක් පමණ දීර්ඝ කාලයකි.


මේ ඉතා කෙටියෙන් කීවේ ගින්නෙන් කල්පය විනාශ වන ආකාරයයි. 


ජලයෙන් කල්ප‍ය විනාශ වන විට සුභකිණ්හ බ්‍රහ්ම ලෝකයෙන් යට සියල්ල විනාශ වේ. සුභකිණ්හ බ්‍රහ්ම ලෝකයෙන් ඉහළ සියල්ල ඉතිරි වේ. 


වාතයෙන් කල්ප විනාශය වන විට වේහප්ඵලයෙන් යට සියල්ල විනාශ වේ. වේහප්ඵල බ්‍රහ්ම ලෝකයෙන්  ඉහළ සියල්ල ඉතිරි වේ.


දිව්‍යලෝක ගැන පමණක් කියන බැවින් අනෙක් කරූණු මෙතන සඳහන් කරන්නේ නැත.


නැවත සංවර්ධනය වනවිට මහාමේඝයක් නැගී පළමුවෙන්ම සියුම් පොද වැසි වැස පිළිවෙලින් මහත් වී තල් කඳ පමණ වැසි ධාරා වැස, කෙළ ලක්ෂයක් සක්වල සියළු දා ගිය තැන් දියෙන් පිරී යයි. ජලය හාත්පසින්ම උඩ යට සරස නැගී ජලය ඝණ කොට නො විසිරී යන සේ පිඬු කොට තබයි. (අන්ධකාර සූත්‍රයේ සඳහන් වන "මහණෙනි, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේත් ආලෝකය යම් තැනෙක නො ලබත් නම් ලොව අතර පවත්නා හිස් වූ ආවරණ රහිත වූ අඳුරු කරන එබඳු ගන අඳුරෙක් ඇතැ යි. මෙසේ වදාළ" කාරණාව ගැන ද අවධානය යොමු කරන්න.) ජලය අතර වාතය  ගමන් කළ හැකි සේ සිදුරු සෑදේ. මෙසේ ගන වී ක්‍රමයෙන් තව තවත් ඝනවී යටට බසි.  එකල නැවතත් ප්‍රථම ධ්‍යාන බ්‍රහ්මල ලෝකය පිහිටි තැන පහළ වෙයි.


පරනිම්මිත වසවර්තියේ සිට අනෙකුත් දිව්‍යලෝක හයද පහළට පහල වෙයි. පොළොව ද පහළ වී උණු කළ කිරි, නිවෙන විට මතුපිට යොදයක් හැදෙන්නා සේ රස පොළොව ද පහළ වේ.


මේ ආකාරයට දිව්‍ය ලෝක හයේ විනාශය සහ නැවත පහළ වීම තේරුම් ගත යුතුය. අග්ගඤ්ඤ සූත්‍ර අටුවාව සහ සත්ත සුරියුග්ගමන සූත්‍ර අටුවාදියෙන් තවත් කරුණු දැන ගත හැකි ය. 


ශක්‍ර දිව්‍ය රාජයා ගැන තවත් විස්තරත්,  දිව්‍ය ලෝක යෙන් දිව්‍ය ලෝකයට තිබෙන වෙනස්කමුත්, දෙවිවරින් වී උපදින ආකාරයත්, වසවර්ති දිව්‍ය රාජයා සහ ඔහුගේ පිරිසත්, මිනිස්සුන්ට වරම් ලැබීම සහ දේව පූජා ආදියත්, දේවතානුස්සති භාවනාවත්, තුණුරුවන් අත් හැර දෙවියන් සරණ යෑමෙන් වන හානිය ආදිය ඇතුලත් කරුණු මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.


~ අතිපූජණීය තපෝවනයේ රතන හිමි.


____________


මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න. 

Post a Comment

0 Comments