🙏ඉතිපි සො භගවා අරහං, සම්මා සම්බුද්ධො, විජ්ජා චරණ සම්පන්නො, සුගතො, ලෝකවිදු, අනුත්තරො පුරිස ධම්ම සාරථි සත්ථා දේවමනුස්සානං, බුද්ධො, භගවාති, ඉමෙහි නවහි ගුණෙහි සමන්නාගතං සම්මාසම්බුද්ධං සරණං ගච්ඡාමි, සම්මාසම්බුද්ධං සිරසා නමාමි.


🙏මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට වැඳුම් පිදුම් කරන්නා වූ සජ්ජනයන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් වීමට හේතු වන ශීල සමාධ්‍යාදී මහා ගුණස්කන්ධයකින් යුක්ත වන බැවින් අර්හත් නම් වන සේක.


 🙏අනිකකුගෙන් කිසි උපදේශයක් නො ගෙන ස්වඥාන ශක්තියෙන් ම සකල ධර්ම සමූහය ඇති සැටියට මනා කොට දැන වදාල හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක.


 🙏ත්‍රිවිද්‍යා, අෂ්ටවිද්‍යා, පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්ත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.


 🙏දීපංකර පාද මූලයෙහි පටන් සම්‍යක්සම්බෝධි සමධිගමය දක්වා සමත්‍රිංසත් පාරමින් සම්පූර්ණ කිරීම නමැති සම්‍යක්ප්‍රතිපත්තියෙන් සකල ලෝකයාට යහපත සිදු කරමින් කාමසුඛ අත්තකිලමථ යන අන්තයන්ට නො බැස මැනවින් ගමන් කර වදාළ බැවින් සුගත නම් වන සේක.


 🙏සකල ලෝකයෙහි සියල්ල සර්වාකාරයෙන් දැන වදාළ හෙයින් ලෝකවිදූ නම් වන සේක.


 🙏නො මඟට බැස සිටින තිරශ්චින මනුෂ්‍ය යක්ෂ දේව බ්‍රහ්මයන්ට කිසිදු පීඩාවක් නො කොට දැහැමින් ම දමනය කොට සුමග පිහිටවීමට සමත් තමන් වහන්සේට වැඩි කෙනෙකුන් නැති බැවින් අනුත්තර පුරිසධම්මසාරථි නම් වන සේක.


 🙏සකල සත්ත්වයනට දුකින් මිදීම පිණිසත් දෙලොව වැඩ පිණිසත් අනුශාසනා කරන හෙයින් දෙවි මිනිසුන්ට ශාස්තෲ වන සේක.


 🙏පරම ගම්භිර චතුස්සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් මැනැවින් අවබෝධ කොට අන්‍යන්ට ද ඒ ධර්මය අවබෝධ කරවන බැවින් බුද්ධ නම් වන සේක.


 🙏අනන්ත ගුණයෙන් යුක්ත වන බැවින් ද සකල සත්ත්වයනට උත්තම වන බැවින් ද සකල ලෝකවාසීන් ගරු කළ යුතු බැවින් ද භගවා නම් වන සේක.

 

 🙏මේ නව ගුණයෙන් යුක්ත සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ සරණ යෙමි. ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ශීර්ෂයෙන් නමදිමි.


 අතිපූජනීය රේනුකාණේ චන්ද්‍රවිමල මහානායක ස්වාමීන්වහන්සේ විසින් රචිත පුණ්‍යෝපදේශය පොත්වහන්සේගෙනි ☸️🙏