අපගේ මා පිය නෑ මිතුරෝ දුකක් පැමිණි කල්හි ඉන් අප මුදා ගැනීම සඳහා ක්‍රියා කරති. එසේ ම අපට නො ලැබූ සැප සම්පත් බා දීමට ද ක්‍රියා කරති. අපට රෝගාදි දුකක් පැමිණි කල්හි අප සුවපත් කරනු පිණිස තථාගතයන් වහන්සේ නො පැමිණෙති. අපට අන් උපකාරයක් කිරීමට ද උන් වහන්සේ නො පැමිණෙති. ධර්ම, සංඝ යන රත්න දෙක ද එසේ ම ය. එසේ හෙයින් ඒ රත්නත්‍ර‍ය අපට පිහිට වන්නේ කෙසේ ද යන ප්‍ර‍ශ්නය මෙහි ඇති වේ. එබැවින් රත්නත්‍ර‍ය සත්ත්වයනට පිහිට වන ආකාරය සැකෙවින් දක්වනු ලැබේ.


එක් එක් පුද්ගලයකුට පිහිට වන්නෝ බොහෝ වෙති. ඒ අය පිහිට වන්නේ ද එක් ආකාරයකින් නොව නොයෙක් ආකාරවලිනි. තථාගතයන් වහන්සේ වෙදකු රෝගියකුට පිහිට වන ආකාරයෙන් හා කුඹුරක් ගොවියකුට පිහිට වන ආකාරයෙන් ද ලෝකයාට පිහිට වන්නාහ .රෝගයක් ඇති තැනැත්තාට එය දුරු කර ගැනීමට වෙද මහතකුගේ පිහිට වුවමනා ය. වෙද මහතා රෝගියාට මේ මේ බෙහෙත් ගත යුතුය මේ මේ ආහාර ගත යුතුය, මේ මේ ආහාර නො ගත යුතුය යි අනුශාසනයක් කරයි. එය හැර වෙද මහතා ඒ රෝගියාට සාත්තු කරන්නේ ද නොවේ. බෙහෙත් ආහාර පාන සපයා දෙන්නේ ද නො වේ. රෝගියා ඒ සියල්ල ම තමා විසින් කර ගෙන හෝ තමාගේ නෑයන් මිතුරන් සේවකයන් ලවා කරවා ගෙන හෝ රෝගය සුව කර ගනී. එහෙත් රෝගය සුව වූ පසු මාගේ රෝගය අසවල් වෙද මහතා සුව කෙළේ ය යයි කියයි. සියල්ලෝ ම එය අවිවාදයෙන් පිළිගනිති. එසේ කියන්නේ ද, ලෝකයා එය පිළිගන්නේ ද වෙද මහතාගේ අනුශාසනය රෝගය සුව කර ගැනීමේ ප්‍ර‍ධාන හේතුව වූ නිසාය. වෙද මහතා ගේ අනුශාසනය රෝග සුවය ලැබීමේ ප්‍ර‍ධාන හේතුව වන බැවින් වෙද මහතා රෝගය සුව කළේ ය යි ද රෝගය සුව කර ගැනීමට පිහිට වූයේ ය යි ද කිය යුතු ය. බුදුරජාණන් වහන්සේ ද සත්ත්වයනට සියලු දුක්වලින් මිදීමේ හා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීමේ ද ක්‍ර‍මය දක්වා අනුශාසනය කළ සේක. දුකින් මිදෙනු කැමැත්තෝ ඒ අනුශාසනය පරිදි ක්‍රියා කොට දුකෙන් මිදෙති. ඒ ඒ සම්පත් කැමැත්තෝ ද උන් වහන්සේගේ අනුශාසනය පරිදි ක්‍රියා කොට ඒවා ලබා ගනිති. ඒ අනුශාසනය නො ලැබිණි නම් සත්ත්වයනට ඒ දෙක සිදු කර ගත නො හෙන බැවින් ඒ දෙකරුණට තථාගතයන් වහන්සේ ගේ අනුශාසනය ම ප්‍ර‍ධාන වේ. එබැවින් සියලු දුකින් මිදීමට හා සියලු සම්පත් ලැබීමට තථාගතයන් වහන්සේ පිහිට ව සේකැ යි කිය යුතු ය. එසේ ම පිළිගත යුතු ය.