බ්‍රාහ්මණය, නොකැඩුණු, සිදුරු නොවූ, නොකැළැල්, පැල්ලම් නැති, පිරිපුන්, පිරිසිදු බඹසර හැසිරෙන්නේය කියා ලෝකයෙහි යමෙක් ගැන කියයි නම්, ඒ මා ගැනය.

බ්‍රාහ්මණය, මම් වනාහි නොකැඩුණු, සිදුරු නොවූ, නොකැළැල්, පැල්ලම් නැති, පිරිපුන්, පිරිසිදු බඹසර හැසිරෙන්නෙක්මි.


බ්‍රාහ්මණය, සප්තවිධ මෛථුනයක් ඇත්තේය. ලෝකයෙහි පිවිතුරු බඹසර රකින්නෙක්මි යි ප්‍රතිඥා දෙන මා තුළ සප්තවිධ මෛථුන  සංයෝගය මුළුමනින් ම නිරුද්ධ වී ඇත්තේය.


1. බ්‍රාහ්මණය, යම් කිසිවෙක් ස්ත්‍රියක විසින් කරනු ලබන ඇඟ ඉලීම්, පිරිමැදීම්, නැහැ වීම්, සම්බාහනය කිරීම් ඉවසයි ද, එයට කැමති වෙයි ද, එයින් සතුටු වෙයි ද, එය කිලිටි බඹසරකි. මෙවන් මෛථූනයක් හා එක් වූ අපිරිසිදු බඹසරකින් ජාති ජරා මරණ ආදී දුකින් නොමිදෙන්නේය.


2. එසේම බ්‍රාහ්මණය, යම් කිසිවෙක් ස්ත්‍රීන්ගේ ඉලීම්, පිරිමැදීම් නොඉවසන නමුත් ඔවුන් හා කවටකම් කරයි. මහ හඬින් සිනාසෙයි. බස් දොඩයි. එයින් ආශ්වාදය විඳියි. ඔහුගේ බඹසර ද කිලිටි ය. ඒ කිලිටි බඹසර නිවන පිණිස හේතු නොවෙයි.


3. එසේම බ්‍රාහ්මණය, යම් කිසිවෙක් ස්ත්‍රීන්ගේ ඉලීම්, පිරිමැදීම් ආදිය නොඉවසන නමුත් ඔවුන් හා කවටකම් කතාබස් කිරීම් නොකරන නමුත් ස්ත්‍රිය දෙස නැවත නැවත බලමින් සතුටු වෙයි. එයින් ආශ්වාදය විඳියි. ඔහුගේ බඹසර ද කිලිටි ය. ඒ කිලිටි බඹසර නිවන පිණිස හේතු නොවෙයි.


4. එසේම බ්‍රාහ්මණය, යමෙක් ස්ත්‍රිය දෙස නැවත නැවත නොබලන නමුත් බිත්තියෙන් එපිට, ප්‍රාකාරයෙන් එපිට සිටින ස්ත්‍රියකගේ සිනහසීම, කතාකිරීම, ගායනා කිරීම ආදිය අසා ආශ්වාදය විඳියි. ඔහුගේ බඹසර ද කිලිටි ය. ඒ කිලිටි බඹසර නිවන පිණිස හේතු නොවෙයි.


5. බ්‍රහ්මණය, යමෙක් ස්ත්‍රියකගේ හඬ නොඅසන නමුදු පෙර තමා විසින් ස්ත්‍රියක සමඟ කතා කළ, සතුටු වූ යමක් ඇද්ද, එය සිහිකරමින් ආශ්වාදය විඳියි. එය ද මෛථුනය හා එක් වූ අපිරිසිදු බඹසරකි. ඒ කිලිටි බඹසරින් නිවන් මග නොසැපයෙයි.


6. බ්‍රාහ්මණය, යමෙක් එසේ නොසිතන නමුත් පංච කාමගුණයන් පිරිවරා සතුටු වන ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයකු දකියි. දැක එයින් ආශ්වාදය විඳියි. මෙය ද මෛථූනය හා එක් වූ අපිරිසිදු බඹසරකි. ඒ කිලිටි බඹසරින් නිවන් මග නොසැපයෙයි.


7. බ්‍රාහ්මණය, යමෙක් එසේ ආශ්වාදය නොවිඳින නමුත් තමන්ගේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ බඹසරින් හෝ දෙව්ලොව උපදින්ට කැමති වෙයි. එයින් ආශ්වාදය විඳියි. මෙය ද බඹසර කිලිටි වීමකි. ඒ කිලිටි බඹසරින් නිවන් මග නොසැපයෙයි.


අච්ඡ‍රිය මනුස්සෝ

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි🙏🙏🙏